Friday, April 24, 2015

අහෝ වනපෙතත්   ගිණිගෙන
*******************


වනවිල්වල ඇවිද ගොසින් ලගිනා තැන                බලාපියෝ
අලි නොපෙනෙන කරු පෙනෙන පෙරහැරවල   බලාපියෝ
කාසි සොයන සෆාරි වල අලි රෑනේ                       බලාපියෝ
යුරෝ ඩොලර් දළ විකුණන වෙළඳපොලේ          බලාපියෝ

ඇණී කරඹ කටු පැසවූ කකුල නුඹේ                      රිදෙනවදෝ
වේදනාව ලඟට ඇවිත් හෙමිහිට මට                      කියනවදෝ
ගෝනි සැඳෑලය මත යන මිනිස් රූප                      බරවැඩිදෝ
පසාරු උන මූනිස්සමෙ වේදනාව                          දැනෙනවදෝ

වනන්තරේ ඇතින්නියා ගල් අරඹේ                      සිටින්නියා
නිරන්තරේ හන්නියා හමින දුක                      කියන්නියා
වනන්තරේ කපන්නියා යකඩ යකා                      දුවන්නියා
කතන්දරේ කියන්නියා යකාට දිවි                         පුදන්නියා

බලැති අයියනායක හිස කටින් ලී කොටන්          ඇදගෙන
ඇඹුල් පොල්ලෙල්ල මුව තුල කියන් මට රසද     දැනගෙන
දුවමු අප යලිත් කැලයට බැඳුණු ඔය යදම්             බිඳගෙන
කඳුළු නොසලපන් නෙතු අග අහෝ වනපෙතත්   ගිණිගෙන

Wednesday, April 22, 2015

කුමර බඹසර හැඬූදා

**********************



මලානික හද පුරා රැව් වදුන් ප්‍රේමයේ අනුහස සොයා
පලා ගිය මම මුලා වූයෙමි නැවත සොයනා බැරි නියා
දුලා දෙනයන හෙමින් අඩවන් උනා පෙම්බර බස් කියා
නිරාමිස හද උනා මුකුලිත සරා සුමධුර ගී ගයා

අරා අසු මම වැරෙන් සන් කර අනන්තය වෙත ඉගිලුනා
සරා අඩවන් මතින් මත්වුනු ඇගේ නිල් නෙතු පියවුනා
අරා සිහසුන නිදා සිටි රණ හස රැජින මුකුලිතවුනා
එදා මෙතුවක් මා සමග සිටි කුමර බඹසර ගිළිහුනා

නිදා සිටියෙමි ඇගේ උකුලත ගතේ පැහැසර නිවුනුදා
කඳෝපැණියෙකි අතරමන් වුන රාගයේ හිරු පැමිණිදා
බලා සිටියෙමි මගේ දෙස මම මටද මම අහිමිව එදා
හඬා වැටුනෙමි මගේ හිත ළඟ කුමර බඹසර හැඬූදා

මට මගේ නොවන මගේම ආදරයක්................

2015 වැලන්ටයින් මස 14
මම ඇය හඳුනා ගතිමි දුර සිටම. ඇය සොයන්නී මාය.මම ජදුක අතට ගෙන ඇමතුමක් ලබා ගතිමි.
"හෙලො කොතනද ඉන්නේ?"
"මෙතන......! ඔය පැත්තෙ නෙවෙයි අනෙක් පැත්තේ"
"කෝ?"
"හෙමිහිට බලන්න"
තටු සිඳුන කිරිල්ලිය පියඹා ආවාය.උණුසුම් හාදුවකි.මා අසලින් වාඩිවුණු ඇය මගේ උරහිස මත හිස තබා ගත්තාය.මුහුනේ රැවුල් කොට පිබිදෙනු මට දැනුනි.
" එහෙනම් ඔයා ආව" ඇය මගෙන් විමසීය.
" ඔව් මම ආව මගේ නොවන මගේ ආදරේ හොයාගෙන"
ඇය හිස ඔසවා මගේ දෑස දෙස බැලීය. ඒ පුංචි දෑස මගේ දෑස තුල හෙව්වේ ආදරයම විය. ඇය නැවත මගේ උරහිස මතය.
" ඔයා දන්නවද?"
"මොකක්ද ?"
"අයියේ මේ මම මගේ ජීවිතේ සමරණ පළවෙනි valentine day1"
මම ඇගේ දෑස දෙස බැලීමි.
"මගෙත්"
මම කීවෙමි.
"ඇයි?"
"හැම දවසක්ම මට ආදර වන්තයින්ගේ දිනයක්"
මම පණ්ඩිත කතාවක් කීවෙමි.
"ඔව් ඒක ඇත්ත.නමුත් ආදරේ වෙනුවෙන් ඒක එක දවසක විශේෂයෙන් සැමරීම වරදක් නෑ නේද?"
මම ඇගේ කතාවට එකඟ වීමි.ඇය නැවත මගේ දෑස තුලට එබිකම් කලාය. 
"ඇයි?"
මම ඇසීමි.
"මම මගේ ආදරේ හොයනව"

"අයියේ අපි ටිකක් ඇවිදගෙන යමුද?"
"හා"
මේසා විසල් ප්‍රේමයක් මා දිවිය පුරා විඳ නැත. ඇය ,ඇගේ නම,හැඟීම්, ඇගේ ආත්මයම මගේ ඇට මිදුළු තුලට කිඳා බයිනු මට දැණුනි.මම ඒ ප්‍රහර්ශය සීරුවෙන් විඳ ගනිමු.
ඇය මට හමුවීමි.ඇය මගේ ආදරයයි.ඇය මගේ ප්‍රහර්ශයයි.මගේ ප්‍රාර්ථනයයි.නමුදු ඇය මගේ ආත්මාර්ථය නොවේ.ඇය ආධ්යාත්මය පතුල ස්පර්ශ කර හමාරය.
අපි ඇවිද ගියේ අරමුණකින් තොරවය. මම ඇගේ තොරක් නැති කිචි බිචියට අවනත වීමි.
"අයියේ,අර අතන බංකුවට ගිහිං කතා කරමු"
"හා"
මට ඇය හා දො මලු වීමට අවැසි නොවීය. මට අවැසි වූයේ ඇගේ දෑස තුල කිමිදී ඇගේ ආධ්යාත්මයේ හැඩ බැලීමටය.

" අද හඳ නෑ"
මම කීවෙමි.
"ඇයි මම ඔයාගේ හඳ නෙවෙයිද"
ඇය අමාවකට පෑයූ හඳ වැන්න.
" ආදරෙයිද මට "
නැවත ඇගෙන් ආදරණීය පැණයකි.
"ගොඩක් ගොඩක් ගොඩා..............................ක්"
මම බොළද උනා වැඩිදැයි සිතීමි.
ඇය මගේ සිත හඳුනා ගත්තා සේය.
" ආදරේ ඉස්සරහ බොළද උනාට කමක් නෑ.බොළද නොවුනොත් එතන ආදරයක් නෑ ආදරේ දැනෙනව අඩුයි"

"මගේ ආදරේ ඔයාට දැනෙනවද?"
මම ඇසීමි
"ඔව් ගොඩක් දැනෙනව"
මම ඇගේ දෑස මගේ දෑසේ ග්‍රහණයට ගතිමි.
ආදරේ උතුරා යන ඇස්.
"මගේ ජීවිතේට ඔයාව මිස් උනා අයියේ"
ආදරේ හරිම බරපතල හැඟීමක්.
ඉතින් අපිට සමුගන්න වේලාව පැමිණ ඇත.
" අයියේ යාළුවෝ මාව හොයනව ඇති"
"අපි යමු එහෙනම්"
"අයියේ සමාවෙන්න. ඔයාට ආදණීය විදිහට සමුදෙන්න බෑ මෙතන"
මම සිනාසුනෙමි.ඇය මගෙන් මිදී නොපෙනී යන තුරු මම බලා සිටියෙමි.මට අතීතයට එක් නොවුනු මගේ නොවන මගේම ආදරයක් ඇත. විහාරමාහාදේවී උයනේ valentine සංගීතය මේ ලියන මොහොතේ මගේ කුටියට ඇසේ....!!!!!
ආදරේට නමක් දෙන්න.............